ගුවන් යානයකට අබිරහස් ලෙස අතුරුදන් විය හැකිද? මෑතකදී ලොවම මහත් කැළඹීමකට ලක් කරමින් මැලේසියානු ගුවන් යානා සමාගමට අයත් MH 370 දරන ගුවන් යානය අතුරුදන් විය.
ඒ සමගින් බොහෝ දෙනකු එලෙස කල්පනා කරන්නට ඇත. එවන් විශාල යානයක් මෙතරම් දියුණු තාක්ෂණයක් සහිත නූතන ලෝකයේ අබිරහස් ලෙස අතුරුදන් වීමට හැකියාවක් නැතැයි අප කාටත් සිතුණද එය වැරදිය. සැබැවින්ම අබිරහස් ලෙස අතුරුදන් වූ ගුවන් යානා පිළිබඳව පුවත්ද ගුවන් යානා ඉතිහාසය පිරික්සීමේදී සොයා ගත හැක. එම ගුවන් යානා පිළිබඳව වසර ගණනක් සොයා බැලූ නමුත් ඒවා පිළිබඳව අදටත් කිසිදු හෝඩුවාවක් නොමැතිවීම සැබවින්ම පුදුමයට කරුණකි.
ගුවන් යානා ඉතිහාසයේ වඩාත් කතාබහට ලක් වූ ගුවන් යානා අතුරුදන් වීම වන්නේ අති දක්ෂ ගුවන් යානා නියමුවරියක් වන අමේලියා ඉයර්හාර්ට් (Amelia Earhart) විසින් පැදවූ ගුවන් යානයේ අතුරුදන්වීමය. 1937 වසරේදී මෙය සිදුවිය. ඇය විසින් ඇගේ ද්විත්ව එන්ජිම් සහිත එක් තටු ගුවන් යානයද රැගෙන ගුවන් ගත වූවාය.
ඇමෙරිකානු ජාතික කාන්තාවක් වූ ඇය එසේ ගුවන් ගත වූයේ ලොව වටා පියාසර කිරීමේ ආශාවෙනි. එම ගමන සඳහා ඇය පිටත් වූයේ කැනඩාවේ ඕක්ලන්ඩ් සිටය. පැසිෆික් සාගරය ඉහළින් පියාසර කළ එම ගුවන් යානය හෝ ඈ පිළිබඳව අනතුරුව කිසිදු හෝඩුවාවක් සොයා ගන්නට නොහැකි විය.
ඈ පිළිබඳව සහ ඇගේ ගුවන් යානය පිළිබඳව සෙවීමට එකල මිලියන ගණනින් මුදල් වියදම් කළද ඒ සියල්ල ගඟට කැපූ ඉනි සේ අසාර්ථක විය. අනතුරුව 1939 වසරේදී ඇය මිය ගිය බවට නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් විය.
1962 වසරේදීද මෙලෙස තවත් ගුවන් යානයක් ඉහළ අහසේදී අතුරුදන් විය. එක්සත් ජනපදයේ ගුවන් හමුදාවට අයත් Flying Tiger Line 739 නම් යානය පිලිපීනය බලා පිටත් වූ අතර එයද අබිරහස් ලෙස අතුරුදන් විය. එම ගුවන් යානය බටහිර පැසිෆික් සාගරයේ පිහිටි ඇමෙරිකානු එක්සත් ජනපදයේ පාලනයට යටත් වන දූපත් පහෙන් එකක් වන ගුආම් (Guam) නම් දූපතේ සිට පිටත් වී ඇත. ඒ වන විට එම ගුවන් යානයේ පුද්ගලයින් 90 ක් සිට ඇත. එම ගුවන් යානයේ නියමුවා විසින් කිසිවිටකත් තම ගුවන් යානය ආපදාවකට මුහුණ දී ඇතැයි කියැවෙන පණිවුඩයක් පවා නිකුත් කර නොමැත. එක්සත් ජනපද හමුදාවේ සේවයේ නියුතු 1300ක පමණ පිරිසක් මෙම ගුවන් යානය සෙවීමේ මෙහෙයුමට සම්බන්ධ විය. එසේ වුවද ඔවුන්ටද එම ගුවන් යානයට සිදුවූයේ කුමක්දැයි සොයා ගත නොහැකි විය. නමුත් මෙම ගුවන් යානය ගමන් කළ ස්ථානය ආසන්නයෙන් මුහුදේ ගමන් කරමින් තිබූ ලිබියාවට අයත් තෙල් ප්‍රවාහනය කරන නෞකාවක කාර්ය මණ්ඩලය එම යානය ගමන් කළා යැයි කියන වේලාවේදී අහසේ ඉතා දීප්තිමත් ආලෝකයක් දැක ඇත. ඒ සමගින් දීප්තිමත් වස්තූන් දෙකක් මුහුදට වැටෙනු ඔවුන් දැක ඇත. නමුත් එක්සත් ජනපදයේ සිවිල් ගුවන් ගමන් මණ්ඩලය (US civil Aeronautics board) විසින් එය එම ගුවන් යානයට සිදුවූයේ කුමක්දැයි ස්ථිරවම නිගමනය කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව සඳහන් කර තිබුණි.
බ්‍රිතාන්‍ය දකුණ ඇමෙරිකානු ගුවන් සේවයට අයත් පුද්ගලයින් 11 දෙනෙකු රැගත් ගුවන් යානයක්ද 1947 වසරේදී මෙලෙස අතුරුදන් වූ ගුවන් යානා ලැයිස්තුවට එක් විය. එම යානය පිළිබඳව සෙවීමේ කටයුතු සඳහා වසර 50කට අධික කාලයක් ගත වී ඇත. එය අවසන් වරට ගොස් ඇත්තේ අන්දිස් කඳු අතරිනි. ඉන් පසුව එම යානය අතුරුදන් වී ඇත. නමුත් 1998 වසරේදී අන්දීස් කඳු තරණය කරමින් සිටි ආර්ජන්ටිනානු කඳු නගින්නන් දෙදෙනකුට අතුරුදහන් වූවා යැයි කියන එම යානයේ එන්ජිමේ සුන්බුන් හමු වී ඇත. පසුව එම ස්ථානය ගවේෂණය කිරීම සඳහා ආර්ජන්ටිනානු ගුවන් හමුදාව යවන ලදී. ඔවුන්ට එහිදී එම යානයේ ගමන් කරන්නට ඇතැයි සැක කළ හැකි පුද්ගලයින්ගේ ශරීර කොටස් හමු වී ඇත. මෙම ගුවන් යානය අන්දීස් කඳු අතරින් යාමේදී එහි වූ හිමවල ගැටීම නිසා අනතුරට පත් වන්නට ඇති බවත් එසේ ගැටීමේදී එම හිම තට්ටුවලට යානය යට වී එපමණ කාලයක් සැඟවී තිබෙන්නට ඇතැයි යැයි මතයක් වේ.
අන්දීස් කඳු මත හිම විසින් බිලි ගත් තවත් ගුවන් යානාවක් වන්නේ 1972 වසරේදී එම ප්‍රදේශය හරහා ගමන් කළ උරුගුවේ ගුවන් හමුදාවට අයත් අංක 571 දරන ගුවන් යානයයි. පුද්ගලයින් 45 දෙනකු රැගත් එම ගුවන් යානයේ ගමන එසේ කෙළවර වූයේ චිලී හි සැන්ටියාගෝ බලා පියාසර කරමින් තිබියදීය. මෙම අනතුරට හේතුව ලෙස සඳහන් වනුයේ අයහපත් කාලගුණයයි. එම අනතුරින් පසු යානයේ සිටි මගීන් අට දෙනකු එහි සුන්බුන් අතර ආවරණය වී සිටීමට උත්සාහ ගත්තද ගලා යන යෝධ හිම තට්ටුවක් එහි වැදීම නිසා ඔවුන්ට සිය ජීවිතයෙන් සමු ගැනීමට සිදුවිය. එහි යානයේ වූ තවත් මගීන් 16 දෙනකු තමන් බේරා ගැනීමට කවුරුත් පැමිණෙන තුරු තම යානයේ තමන් සමග එකට පැමිණ මිය ගිය මගීන්ගේ මිනී මස් කමින් ජීවත් වී ඇත. එම පුද්ගලයින් සොයා ගත හැකි වී ඇත්තේ යානය අනතුරට පත් වී මාස 2ක් ඉක්ම ගිය පසුය. ඒ අතරතුර කාලය තුළදී ඔවුන්ට සිය කුසගින්න නිවා ගත හැකි එකම මග වී ඇත්තේ මිනී මස් පමණකි.
ගුවන් යානා අතුරුදන් වීම් සම්බන්ධයෙන් වඩාත් ප්‍රකට වන්නේ බර්මියුඩා ත්‍රිකෝණය මතින් ගමන් කළ ගුවන් යානාවල අතුරුදන්වීමය. එසේ බර්මියුඩා ත්‍රිකෝණය මතින් ගමන් කළ කිසිදු ගුවන් යානයක් පිළිබඳව කුමන ආකාරයකින් හෝ හෝඩුවාවක් සොයා ගැනීමට මතෛක් කවුරුත් සමත් වී නැත. එනිසාම මෙම ස්ථානය යක්ෂයාගේ ත්‍රිකෝණය (Devil’s triangle) යනුවෙන්ද හැඳින්වේ. ෆ්ලොරීඩා, පෝටෝ රිකෝ සහ බර්මියුඩා දූපත් අතර විහිදී පවතින මුහුදු කලාපය බර්මියුඩා ත්‍රිකෝණය යනුවෙන් හැඳින්වේ. 1948 වසරේදී සහ 1949 වසරේදී එම මුහුදු කලාපය මතින් ගමන් කළ බ්‍රිතාන්‍ය දකුණු ඇමෙරිකානු ගුවන් සමාගමට අයත් ගුවන් යානා දෙකක් යළි සොයා ගත නොහැකි ලෙසට අතුරුදන් වී ඇත. එම යානා දෙකෙහිම ගමන් කළ පුද්ගලයින් 51 දෙනකුට වැඩි පිරිසක් පිළිබඳව කිසිදු හෝඩුවාවක් තවමත් නැත. 1945 වසරේදී බෝම්බ හෙලන ගුවන් යානා පහක් බර්මියුඩා ත්‍රිකෝණය මතින් සිය මෙහෙයුම් කටයුතු දියත් කළ අතර ඔවුන්ට අත්වූයේ පෙර සඳහන් කළ ගුවන් යානා දෙකට අත් වූ ඉරණමය. එම යානාවලට සිදුවූයේ කුමක්දැයි සෙවීම සඳහා 13 දෙනකුගෙන් සමන්විත වූ යානයක් ඒ කරා යැවූ නමුත් එයද අබිරහස් ලෙස අතුරුදන් විය.
රියෝදී ජැනයිරෝ සිට පැරීසිය දක්වා ගමන් කරමින් තිබූ ප්‍රංශ ගුවන් සේවයට අයත් 447 දරන ගුවන් යානය අතුරුදන් වූයේ 2009 වසරේදීය. නමුත් එය අනතුරට පත් වී ඇතැයි පසුව සොයා ගන්නා ලදී. ඒ අනුව එම ගුවන් යානය අත්ලන්තික් සාගරයට කඩා වැටී තිබුණේ පුද්ගලයින් 228 දෙනකුගේ ජීවිත බිලි ගනිමිනි. යානයේ සුන්බුන් සොයා ගැනීමටත් තවමත් ජීවතුන් අතර සිටින පුද්ගලයින් බේරා ගැනීමටත් අදාළ කණ්ඩායමට දින පහක් ගත වී තිබුණි. යානය එසේ කඩා වැටීමට හේතුව අත්ලන්තික් සාගරයේ ඇති අයිස් ස්ඵටික හේතුවෙන් එහි ගුවන් නියමුවාට පාලන මැදිරිය හා සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට නොහැකි වීම බැව් පසුව සොයා ගන්නා ලදී. ඒ බව සොයාගැනීමට වසර 3ක් ගත වී ඇත. එමෙන්ම යානයේ සිටි තවත් මගින් 74 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගත නොහැකි වී ඇත. එසේ වුවද අතුරුදන් වූ නමුත් පසුව සොයා ගත් ගුවන්යානා ද ඒ අතර නැතුවා නොවේ.
* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.
තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්